ඉදිරිදර්ශන

ද පිට් (The Pitt) : කෘතියේ සමාජ යථාර්ථවාදීභාවයෙන් සහ අවංකභාවයෙන් මිලියන සංඛ්‍යාත ජනයා ග්‍රහනය කරගත්, මහජන සෞඛ්‍යය පිලිබඳ රූපවාහිනී නාට්‍යයක්

[මෙය The Pitt: The medical drama whose social realism and honesty have gripped millions යන මැයෙන් 2026 අප්‍රේල් 19 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

මහජන සෞඛ්‍යය කේන්ද්‍රකරගත් ද පිට් (The Pitt) රූපවාහිනී නාට්‍යය, ඇමරිකා එක්සත් ජනපදයේ සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් වශීකොට ග්‍රහනයට ගෙන ඇති ආකාරයෙහි සැබෑ වැදගත්කමක් තිබේ. මෙම කතා මාලාව සමාජ-සංස්කෘතික සංසිද්ධියක් බවට පත් ව ඇත.

ද පිට් සහ ICE ඒජන්තයින්

ද පිට් හි දෙවන කතාමාලාවේ මංගල දර්ශනය, කතා මාලාව ආරම්භ වූ වසරකට පෙර කාලයට සාපේක්ෂ ව, එහි පලමු දින තුන තුල ම සියයට 200 කට ආසන්න ප්‍රේක්ෂක ආකර්ෂනයක් දිනා ගත්තේය. ජනවාරි මැද භාගය වන විට, වැඩසටහන, සතියකට විකාශ-මිනිත්තු බිලියන 1.19 ක් වාර්තා කල අතර කථාංගයක් සඳහා සාමාන්‍යයෙන් ඇමරිකානු නරඹන්නන් මිලියන 12 ක් පමන වූහ. අවසාන කොටස නැරඹූවන්ගේ සංඛ්‍යාවක් හෙලි කර නොමැති අතර, අවසාන සහ අවසානයට-පසු දර්ශන අතිමහත් සාධනීය ප්‍රතිචාර සමඟ සමාජ මාධ්‍යවල බෙහෙවින් සංසරනය විය.

ගැඹුරු හැඟීම් ජනනය කල රූපවාහිනී කතා මාලාව සෞඛ්‍ය සේවයේ සුවිශේෂී තත්වයන් සහ එහි අර්බුදය ගැන කථා කරයි; නමුත් වඩාත් සාමාන්‍ය ලෙස සහ සමස්තයක් ලෙස හෙලි කෙරෙන්නේ, එය, එක්සත් ජනපදයේ සමාජ ජීවිතය කෙරෙහි දක්වන අසාමාන්‍ය මානුෂීය සත්කාරයකට දක්වන සානුකම්පිත ප්‍රතිචාරයක් බව යි.

ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පවතින ජාතික ආන්ඩුව සහ තවත් බොහෝ නිල ස්ථර සහ ආයතන, වැඩි වැඩියෙන් කෲරත්වය, මර්දනය සහ මැර කල්ලිවාදය සමග මිස අන් අයුරකින් හඳුනාගත නොහැකි මොහොතක, ජනගහනයේ පුලුල් ස්ථරයන්, දැරිය නොහැකි වත්මන් කොන්දේසි වලින් මිදීමේ මගක් සපයන සමාජ බලවේග සහ මාධ්‍යයන් සොයමින් සිටිති.

දූෂිත, මහා ව්‍යාපාරික පක්ෂ දෙකක් විසින් ආධිපත්‍යය දරන සතුරු දේශපාලන සැකැස්මකට මුහුන දී සිටින බොහෝ දෙනා, ජීවිතයේ ප්‍රධාන ගැටලු තාර්කික මානව පදනමක් මත විසඳන ක්ෂුද්‍ර ලෝකයක් ලෙස, පිට්ස්බර්ග් හි රෝහලක් සහ එහි හදිසි ප්‍රතිකාර අංශය කෙරෙහි අවධානය යොමු කිරීමට තෝරා ගෙන ඇත.

ද පිට් හි යථාර්ථවාදීභාවය, අසාමාන්‍ය වන අතර එය සාදරයෙන් පිලි ගන්නෙමු. පසුගිය දශක කිහිපය තුල ජනප්‍රිය ප්‍රවාහයේ සාර්ථක නිර්මාන බොහොමයක් පෙන්නුම් කර ඇත්තේ, විවෘත සමාජ වෛරයක් නොවේ නම්, මනුෂ්‍යත්වයේ ඌනතාවය සහ සංකීර්න අභිප්‍රේරන හා අන්තර්ක්‍රියා කෙරෙහි කිසිදු සැබෑ උනන්දුවක් නොමැතිකමයි. ආධිපත්‍යය දැරුවේ, වඩා සීතල හා දීන වන තරමට වඩාත් හොඳ යැයි සැලකෙන, ජීවිතයේ ඊනියා “අඳුරු පැත්ත” පිලිබඳ ගවේෂනයන් ය. “මුරන්ඩු” හෝ “අනුකම්පා විරහිත” අය බොහෝ විට නරුම සහ අශුභවාදී ස්ථාවරයක් අනුගමනය කර ඇත. ප්‍රචන්ඩ හා ම්ලේච්ඡ හැරීම්, කුරිරු පරාජයන් හෝ ඛේදවාචක, “ගුනාත්මක” නාට්‍ය සමඟ සම්බන්ධ කිරීමේ ප්‍රවනතාවක් පවතී. මෙම “අන්ධකාරය” තුල පවතින බොහෝ දෑ සරල ලෙස ම ලාභදායී සහ අලෙවි කල හැකි දේවල් වන අතර එය අකර්මන්‍යතාවය සහ හිරිවැටීම පමනක් දිරිමත් කරයි.

ද පිට්, සැලකිය යුතු ගෞරවයට පාත්‍ර වන්නේ, වෙනස් ආකාරයකට ය. කතා මාලාවේ දෙවන වාරය, පරස්පර විරෝධී සහ දෝෂී චරිත මගහැර නොයන අතර එය ජීවත්වීමේ අගය සුවිසල් ව තහවුරු කරයි. අපේ කාලයේ සමාජ ගැටලු, ඒවා මානුෂික විෂය (human material) හැඩගස්වන ආකාරය සමඟ සම්බන්ධ කිරීමට නිෂ්පාදකයින් දැනුවත් ව සහ සංවේදී ආකාරයකින් කටයුතු කර තිබේ.

ජූලි 4 වන දින පටන් පැය 24 ක් පුරා දිවෙන මෙම කතාමාලාවේ, සංක්‍රමන සහ රේගු බලාධිකාරියේ (අයිසීඊ) නියෝජිතයින් රෝහල් පරිශ්‍රයෙන් හෙදියක් පැහැර ගෙන යන සිදුවීමක් ඇතුලත් වේ. මෙය රෝහල් සේවකයින් සහ රෝගීන් යන දෙපිරිසට ම ඇති කරන බලපෑම එහි විවිධ මානයන්ගෙන් පෙන්නුම් කරන අතර, එය වත්මන් වාතාවරනයේ දේශපාලන ප්‍රකාශනයකි.

ද පිට් දැවෙන සමාජ ප්‍රශ්න රාශියක් මතු කරන අතර, ලැබී ඇති කාලයේ සීමාවන් සැලකිල්ලට ගෙන, ප්‍රශංසනීය ලෙස එම ප්‍රශ්න ආවරනය කර ඇත. හෙදියක් රෝගියෙකු විසින් ගෙල සිර කර මරා දමනු ලැබේ; දියවැඩියා රෝගියෙක් සෞඛ්‍ය රක්ෂනයක් නොමැති නිසා වෛද්‍ය උපදෙස් නොතකා හදිසියේ ම රෝහලෙන් පිටව යයි; විලංගු දමා සිටින බන්ධනාගාර සිරකරුවෙක් ශීතාද (scurvy) රෝගයෙන් පෙලෙයි; පිටුවහල් කිරීම් පවුල් ඉරා වෙන් කරයි; සහ රෝගීන් තුවාල හෝ මරන අවදානමට ලක් කරන වැරදි වෛද්‍ය තොරතුරු වලට එරෙහි ව වෛද්‍යවරුන්ට නිරන්තරයෙන් සටන් කිරීමට සිදුවේ.

ලේඛකයින්, අධ්‍යක්ෂවරුන් සහ නලු නිලියන් තම ආඛ්‍යානයන්, සමාජ යථාර්ථයෙන් ගැඹුරින් ම උකහා ගැනීමට තෝරා ගන්නා විට, එය සාමාන්‍යයෙන් “නාට්‍ය” ලෙස හඳුන්වන, හිස්, කමකට නැති ආත්මීය-ඕනෑ එපාකම්වල ප්‍රකාශනයකට වඩා, විශේෂයෙන්, හාස්‍යොත්පාදක ග්‍රන්ථයකට හෝ සුපිරි වීරයින් පිලිබඳ ප්‍රලාපයකට වඩා කෙතරම් බලගතු ද? යථාර්ථය සමඟ ගනුදෙනු කරන, විශේෂයෙන්ම ඇමරිකානු සහ ගෝලීය ධනේශ්වරයේ නිල ජීවිතයේ “වැදගැම්මකට නැති' පුද්ගලයින් වන, වැඩ කරන ජනතාවගේ “දුක්ඛ වේදනා, බලාපොරොත්තු සහ අරගල” නිරූපනය කරන කලාවට, චලනයේ, විනෝදාස්වාදනයේ සහ බුද්ධි ප්‍රබෝධයේ බලය ඇත.

ද පිට් කතාව දිග හැරෙන්නේ විශාල නාගරික රෝහලක වන අතර, එහි ස්වභාවයෙන්ම කාර්ය මන්ඩලය සහ රෝගීන් බහුජාතික, බහු-මානවවංශික සහ බහු-වාර්ගික වේ. එහෙත් වැඩසටහන තුල අනන්‍යතා දේශපාලනය නොමැත. වාර්ගික හා ජනවාර්ගික වෙනස්කම් සැලකිය යුතු ගැටලු නොවේ. වෛද්‍යවරුන් අතර පවතින ඉහල මට්ටමේ එකමුතුකම නරඹන්නා මවිතයට පත් කරයි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විවිධ පසුබිම්වලින් පැමිනි අය වෙති. මෙය ඇමරිකාවේ පුලුල් හරස්කඩකි; නමුත් වාර්ගික කතා පෙලක් නොමැත. ඒ හා සමාන ව, පරම්පරා ඝට්ටන ඇති වූ විට, ඒවා ජයගත නොහැකි ලෙස ඉදිරිපත් නොකෙරේ. චරිත නිර්මානය කර ඇත්තේ ඔවුන් මුහුන දෙන පොදු ගැටලු සහ අභියෝග අනුව ය.

ප්‍රධාන චරිතය වන, අර්බුදකාරී තත්ත්වයක සිටින වෛද්‍යවරයෙකු මුහුන දෙන දුෂ්කරතාවන්ට ද වඩාත් පොදු අර්ථයක් ඇත. වෛද්‍ය රොබිනවිච් රෝහලේ සහ ඔහුගේ ජීවිතයේ බරපතල, සමහර විට විසඳිය නොහැකි තරම් වන ගැටලුවල දී තම සිහිකල්පනාව නැති කර නොගෙන සටන් කිරීමට උත්සාහ කරයි. ද පිට් විශේෂයෙන් ම සෞඛ්‍ය සේවකයින් බලගතුව සහ-කම්පනය කර ඇතත්, මෙය පැහැදිලිවම පුලුල් මහජනතාව සම්බන්ධ කරන දෙයකි.

සමාජය එහි සෑම අංශයකින්ම ක්‍රියාත්මක කිරීමට දායක වන්නේ කම්කරුවන් වන නමුත්, ඔවුන්ට, පවත්නා සමාජ රාමුව විසින් නිර්මානය කරන ලද බාධකවලට දිනපතා, මුහුන දීමට සිදුවේ. සේවකයින් වෙහෙසට පත් වුවහොත්, වැටුප් කප්පාදු කලහොත්, තනතුරුවලින් පහ කරනු ලැබුවහොත් සහ මුහුන දිය නොහැකි කොන්දේසි ඇති කලහොත්, හොඳ ප්‍රවාහනයක්, ගුනාත්මක අධ්‍යාපනයක්, ආරක්ෂිත ඉදිකිරීම් සහ කාර්මික ව්‍යාපෘති, සක්‍රීය විදුලිබල ජාලයක්, ක්‍රියාත්මක සේවා අංශයක් යනාදිය අපට ලබා ගත හැක්කේ කෙසේද? කම්කරුවන්ට තමා සහ අන් අය කෙරෙහි ක්‍රමයේ බලපෑම අසංඛ්‍ය ආකාරවලින් දැකගත හැකි සහ දැනගත හැකි අතර, ඔවුහු මෙම පීඩනවලට “යට නොවී සිටීමේ” ක්‍රම සොයමින් සිටිති.

මහජන මත විමසීම් වලට අනුව, නිල දේශපාලන ආයතනවල සහ මහා ව්‍යාපාරවල ජනප්‍රියතාව ක්‍රමයෙන් පහත වැටෙද්දී, ද පිට් හි ජනප්‍රියතාවය ඉහල ගොස් තිබේ. ඇත්ත වශයෙන් ම, මෙය හුදෙක් එක් රූපවාහිනී වැඩසටහනක් පිලිබඳ කාරනයක් නොවේ. ගැලප් හි වාර්ෂික මත විමසුමට අනුව, 2026 වන විට අඛන්ඩව වසර 24 ක් තිස්සේ හෙද සේවය එක්සත් ජනපදයේ වඩාත් ම විශ්වාසදායක වෘත්තිය ලෙස නම් කර ඇත. ඇමරිකානු වැඩිහිටියන්ගෙන් ආසන්න වශයෙන් සියයට 75 ක් හෙදියන්ගේ අවංකභාවය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් “ඉහල” හෝ “ඉතා ඉහල” ලෙස ශ්‍රේනිගත කරති. වෛද්‍යවරුන් සහ ඖෂධවේදීන් ද බහුතරයකගේ අගය කිරීම් වලට ලක් ව ඇති අතර, සාමාන්‍යයෙන් සමීක්ෂනයට ලක් කල අයගෙන් සියයට 53 ත් 62 ත් අතර සංඛ්‍යාවක් ඔවුන් කෙරෙහි විශ්වාසය පල කරති.

අනෙක් අතට, ධනපතියන් සහ ව්‍යාපාරික විධායකයින් සාමාන්‍යයෙන් අප්‍රසාදයට ලක් ව තිබේ; නැතහොත් පිලිකුල් කරනු ලැබේ. මෑත කාලීන දත්තවලට අනුව, එවැනි පුද්ගලයින් ඉහල සදාචාරාත්මක ප්‍රමිතීන් ඇති අය ලෙස සලකන්නේ, මහජනතාවගෙන් සියයට 12 සිට 15 දක්වා ප්‍රමානයක් පමනි: “ඔවුන් බොහෝ විට දකිනු ලැබෙන්නේ, ධනාත්මකව නොව, සෘනාත්මකව ය.”

කොංග්‍රස් සභිකයින් සහ ප්‍රධාන පක්ෂ දෙකෙහි ම අනෙකුත් දේශපාලන චරිත, බොහෝ විට එවැනි මත විමසුම් වල දී සිටින්නේ, අඩු ම ශ්‍රේනිගත කිරීම් ලබා ඇති කාන්ඩවල ය. ධනාත්මක ආචාර ධර්ම ශ්‍රේනිගත කිරීම්වල දී දේශපාලනඥයින් සම්බන්ධයෙන් එය බොහෝ විට සියයට 10 ට වඩා පහත වැටෙන බව ගැලප් වාර්තා කරයි; මහජනතාවගෙන් දල වශයෙන් සියයට 62 ක්, ඔවුන්, අවංකභාවයෙන් “අඩු” හෝ “ඉතා අඩු” ලෙස ශ්‍රේනිගත කරති.

කාර්ය මන්ඩල හිඟය, අඩු වැටුප් සහ කටුක සේවා කොන්දේසි වලට එරෙහි ව, මෑත කාලයේ දී ප්‍රොවිඩන්ස්, රෝඩ් අයිලන්ඩ් සහ මිචිගන්හි ග්‍රෑන්ඩ් බ්ලැන්ක් ඇතුලු සමාගම්වල කලමනාකරනය සමඟ සෞඛ්‍ය සේවකයින්ගේ දරුනු ගැටුම් ඇවිල ගොස් තිබේ. කයිසර් පර්මෙන්ටේ සහ නිව්‍යෝර්ක් නගරයේ ඔවුන්ගේ වෘත්තීය සමිති විසින් දස දහස් ගනනක් හෙදියන් අමු අමුවේ පාවා දෙන ලදී. අන්ත-දක්ෂිනාංශික “සිටි ජර්නලයේ” මෑතක පල වූ ප්‍රධාන ලිපියක්, “මෙතරම් සංඛ්‍යාවක් හෙදියන් වාමාංශික වී ඇත්තේ ඇයි?” යන මැයෙන් නොසන්සුන් ලෙස පල කෙරුනේ නිකම් ම නොවේ.

ද පිට්” කතා මාලාව මහජන අවධානයේ සහ උනන්දුවේ සැලකිය යුතු පදාසයක් අල්ලා ගැනීමට සමත් වී ඇත්තේ මෙම හේතූන් නිසා ය: එහි තීව්‍ර සංවේදීභාවය සහ සමාජ යථාර්ථවාදීභාවය; පුලුල් සහයෝගයක් නොමැති වාර්ගික සහ ස්ත්‍රී-පුරුෂභාවයේ දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම; අයිසීඊය සහ දරුනු ප්‍රජාතන්ත්‍ර විරෝධී, සංක්‍රමනික විරෝධී මෙහෙයුම් පිලිබඳ එහි විවේචනය; මහජන සුභසාධනය සඳහා කැප වූ ආත්ම පරිත්‍යාගශීලී මිනිසුන් “ඔවුන්ගේ සියලු ගුනාගුන” සහිත ව නිරූපනය කිරීම; සහ “ඉහලින් එන” අපිරිසිදු හා කුනු වූ සියල්ලට ප්‍රතිපක්ෂ ලෙස මානව ශිෂ්ඨත්වය කෙරෙහි විශ්වාස ය.

ද පිට් හි සාර්ථකත්වය, මාර්තු 28 වන දින, අයිසීඊට, යුද්ධයට සහ ඒකාධිපතිත්වයට එරෙහි ව පැවති “රජවරු එපා” විරෝධතාවලට එක්සත් ජනපදයේ සැලකිය යුතු සෑම ප්‍රජාවක ම මිලියන සංඛ්‍යාත ජනතාවගේ සහභාගීත්වය සමඟ සමපාත වේ. එක්සත් ජනපදය සහ ධනවාදය‍ පාලනය කරන අපරාධකරුවන්ගේ මිනීමරු කල්ලිය සහ පවතින තත්ත්වය පිලිබඳ වඩ වඩාත් විවේචනාත්මක දෘෂ්ටියක් කරා, ජනතාව වමට ගමන් කරමින් සිටියි.

Loading