ශ්‍රී ලංකාවේ දෙමල ධනේශ්වර පක්ෂ ඉරානයට එරෙහි ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධයට සහාය දක්වයි

[මෙය Sri Lankan Tamil bourgeois parties support US-Israeli war on Iran යන මැයෙන් 2026 අප්‍රේල් 03 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දෙමල ධනේශ්වර පක්ෂ, ඉරානයට එරෙහි සාපරාධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය ගැන කිසිවක් පවසා නැති තරම් ය. නමුත්, ඔවුන් ඉඳහිට කරන අදහස් දැක්වීම්වලින් පෙන්නුම් කර ඇති පරිදි, එය ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහ ප්‍රධාන බලවතුන්ට ඔවුන් දක්වන අඛන්ඩ සහයෝගය සඟවා තැබීමට උදවු වන ආකාරයේ නිහඬතාවයකි.

දිවයිනේ දෙමල ජනතාව දශක තුනකට ආසන්න කාලයක් රුදුරු වර්ගවාදී යුද්ධයකට ගොදුරු කෙරුනි. 2009 දී එම යුද්ධය එල්ටීටීඊය මිලිටරිමය වශයෙන් පරාජය කරමින් අවසන් විය. යුද්ධයේ අවසන් මාසවල දී ශ්‍රී ලංකා මිලිටරිය විසින් දස දහස් ගනන් මරා දමනු ලැබූහ.

එක්සත් ජනපද තානාපතිනි ජුලී චුං ​​(මැද), ITAK පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ (වමේ සිට): කවීන්දිරන් කෝඩීස්වරන්, එලයතම්බි ශ්‍රීනාත්, ශානක්‍යන් රාසමානික්කම්, තුරෙයිරාසා රවිකරන්, සිවඥානම් ශ්‍රීදරන්, පී. සත්‍යලිංගම්, ඥානමුත්තු ශ්‍රීනේෂන්, කේ. එස්. කුගදාසන්. [Photo: X/Julie Chung]

දිවයින පුරා සහ ජාත්‍යන්තර ව සිටින තම සගයින් මෙන්, බොහෝ දෙමල කම්කරුවන් සහ තරුනයින්ගේ නිසැක අනුකම්පාව, ඉරානයේ ඇමරිකානු-ඊශ්‍රායල බෝම්බවලට ගොදුරු වූ සිවිල් වැසියන් කෙරෙහි ය. කෙසේ වෙතත්, ප්‍රධාන දෙමල පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) සම්බන්ධයෙන් නම්, දෙමල වාර්ගිකයන් ඝාතනය කිරීම යනු, යථාර්ථයේ දී ඉරානයේ සිදුවන සංහාරයට නිහඬ සහයෝගය දැක්වීම හෙලා දැකීමට අපොහොසත් වීම සාධාරනීකරනය කිරීමට භාවිතා කරන නරුම කඩතුරාවක් පමනි.

මාර්තු 6 වන දින පාර්ලිමේන්තු සාකච්ඡාවකදී, ITAK මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, මුස්ලිම් පක්ෂ මන්ත්‍රීවරුන් විසින් ඉරාන යුද්ධය පිලිබඳව කරන මෘදු විවේචනවලට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසීය: “‘මානුෂීය මෙහෙයුමේ’ නාමයෙන් රටවල් 22 ක සහාය ඇති ව මේ රටේ යුද්ධය දියත් කරන විට, ගුවන් ප්‍රහාර එල්ල කරන විට, [දෙමල ජනතාව ජීවත් වන ප්‍රදේශවල] මල්ටි බැරල් බෝම්බ හෙලන විට, ලෝකයේ කිසිවෙකු අප වෙනුවෙන් කතා කලේ නැත; කිසිවෙකු අප වෙනුවෙන් හඬක් නැගුවේ නැත.”

ඉන්පසු ඔහු මෙසේ පැවසී ය, “ඒ [දෙමල ජනතාවට එරෙහි යුද්ධය] ‘මානුෂීය මෙහෙයුමක්’ නම්, ලෝක සාමය තීරනය කිරීමේ සහ නියාමනය කිරීමේ ප්‍රමුඛයා ලෙස දැන් තමන් හඳුන්වා ගන්නා එක්සත් ජනපදය විසින් දියත් කරන ලද [ඉරානයට එරෙහි] යුද්ධය ද යුක්ති සහගතයි! ඔබ එම යුද්ධය වැරදි ලෙස දකින්නේ ඇයි?...”

මෙම ප්‍රකාශයේ නරුමත්වයට සීමාවක් නැත. ඉරානයට එරෙහි නීති විරෝධී එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට තමන්ගේ ම නිහඬ සහයෝගය සාධාරනීකරනය කිරීම සඳහා ශ්‍රීධරන්, කොලඹ ආන්ඩුවේ දෙමල විරෝධී යුද්ධයට ඉරාන පාලන තන්ත්‍රය තුල පැවති සහයෝගය ද යොදා ගනී.

කොලඹ ආන්ඩුවේ යුද්ධයේ ප්‍රධාන අනුග්‍රාහකයන් වන ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ඉන්දියාව සහ ඊශ්‍රායලය සඟවා තැබීම සඳහා, ඔහු රටවල් 22 න් කිසිවක් නම් කිරීමෙන් හිතාමතා ම වැලකී සිටී. විශේෂයෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ශ්‍රී ලංකා හමුදාවට සැලකිය යුතු ලෙස ආධාර සහ තීරනාත්මක බුද්ධි තොරතුරු සැපයූ අතර අනෙක් රටවල් අත්‍යවශ්‍ය අවි ආයුධ සැපයීය; මෙම  රටවල් එල්ටීටීඊය “ත්‍රස්තවාදී” සංවිධානයක් ලෙස තහනම් කිරීම ඇතුලු දේශපාලන සහයෝගය පුලුල් කලේ ය.

2006 දී එවකට ඇමරිකානු තානාපති ජෙෆ්‍රි ලන්ස්ටෙඩ් එල්ටීටීඊයට විවෘත ව අනතුරු ඇඟවී ය: “ත්‍රස්ත විරෝධී මුලපිරීම්වලට සහාය වීම සහ නීති විරෝධී මූල්‍ය ගනුදෙනු අවහිර කිරීම ඇතුලු ව අපගේ හමුදා පුහුනුව සහ ආධාර වැඩසටහන් හරහා, ශ්‍රී ලංකා ආන්ඩුවට තම ජනතාව ආරක්ෂා කිරීමට සහ එහි අවශ්‍යතා ආරක්ෂා කිරීමට ඇති හැකියාව හැඩගැස්වීමට අපි උදව් කරන්නෙමු.”

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වන අතරතුර සහ ඉන් පසුව, ITAK පක්ෂය “ජාත්‍යන්තර ප්‍රජාවට” —එනම්, ඇමරිකානු අධිරාජ්‍යවාදය පෙරටු ප්‍රධාන බලවතුන්ට—සහාය ලබා දෙන ලෙස නැවත නැවතත් ආයාචනා කලේ ය. එල්ටීටීඊයේ පරාජයෙන් පසු ව, දෙමල වැඩ කරන ජනතාවගේ දුක් වේදනා සමනය කිරීමේ නාමයෙන්, දෙමල ප්‍රභූන්ට සහන ලබා දෙන ලෙස කොලඹ ආන්ඩුවට බලපෑම් කරන ලෙස බටහිර බලවතුන්ගෙන් අයැද සිටියේ ය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ශ්‍රී ලංකා හමුදාවේ යුද අපරාධ උපයෝගී කරගනිමින් චීනයෙන් ඈත් වන ලෙස කොලඹට බලපෑම් කල විට, ITAK පක්ෂය එම ව්‍යාජ ව්‍යාපාරය සමග පෙල ගැසුනි.

ට්‍රම්ප් පරිපාලනයේ ඉරානයට එරෙහි ම්ලේච්ඡ යුද්ධය හෙලා දැකීම ITAK ප්‍රතික්ෂේප කරන්නේ, ශ්‍රී ලංකාවේ දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි සහචරයින් කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවට මාරාන්තික මිත්‍යාවක් තවමත් ප්‍රවර්ධනය කරමින් සිටින බැවිනි.

යුද්ධය අතරතුර “මේ ලෝකයේ කිසිවෙකු අප වෙනුවෙන් කතා කලේ නැත” යන ප්‍රකාශය, අධිරාජ්‍යවාදී ආන්ඩු කොලඹට සහාය දෙද්දී පවා, ජාත්‍යන්තර ව දහස් සංඛ්‍යාත ජනතාව ශ්‍රී ලංකා හමුදාව විසින් සිදු කල යුද අපරාධවලට විරුද්ධ වූ බවට වන කාරනයට පටහැනි වේ.

ඉරානයට එරෙහි යුද්ධයට ITAK පක්ෂයේ යටින් දිවෙන සහයෝගය මාර්තු 10 වන දින කිලිනොච්චියේ පච්චිලෙයිපල්ලි ප්‍රාදේශීය සභාව විසින් එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට සහාය දුන් යෝජනාවකින් විවෘත ව ම ප්‍රකාශයට පත්විය. එහි සභාපති සුබ්‍රමනියම් සුරේන් කොලඹ ඇමරිකානු තානාපතිවරයාට නිවට ලිපියක් යවමින් මෙසේ ප්‍රකාශ කලේය: “ලෝක සාමය පවත්වා ගැනීම අරමුනු කරගත් එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන මෙම මුලපිරීම වෙනුවෙන් අපි අපගේ සහයෝගය පල කරමු.”

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට කරන ලද විනාශය “ලෝක සාමය පවත්වා ගෙන යාම” ලෙස විස්තර කිරීම බිහිසුනු ය. මාසයකට මඳක් වැඩි කාලයක් තුල, පාසල් සිසුන් 160 ක් ඇතුලු ව සිවිල් වැසියන් දහස් ගනනක් මරා දමා ඇති අතර රෝහල් සහ පාසල් ඇතුලු තීරනාත්මක යටිතල පහසුකම් සමතලා කර දමා ඇත. දැන් ට්‍රම්ප් පරිපාලනය, එ රට සියලු ම විදුලි බලාගාර විනාශ කර දැමීම මගින් ඉරාන වැසියන් “ගල් යුගයට ආපසු” යැවීමට සූදානමින් සිටී. ගාසා තීරයේ ජන සංහාරක යුද්ධයේ දී ඊශ්‍රායලය දැනටමත් කර ඇති දේ, ඇමරිකා එක්සත් ජනපදය මිලියන 90 ක ජනතාවක් සිටින මුලු රටක් සඳහා දැන් සැලසුම් කරමින් සිටී. ගාසා ජන සංහාරයට සහාය දුන් ආකාරයට ම, ITAK ඉරානයට එරෙහි ආක්‍රමනශීලී යුද්ධයට ද සහාය දක්වයි.

ඇමරිකානු තානාපතිවරයාට යැවූ ලිපිය, ITAK නායකත්වයේ අතිශය නිර්ලජ්ජිතභාවය ඔප්පු කලේ ය. ITAK මහලේකම් එම්.ඒ. සුමන්තිරන් පච්චිලෙයිපල්ලි යෝජනාව “ITAK මූලධර්මවලට පටහැනි” බවත් සභාපතිවරයා අත්හිටවූ බවත් සඳහන් කලේ ය. කෙසේ නමුත්, පක්ෂයේ ක්‍රියාත්මක සැබෑ මූලධර්මය ඇමරිකානු අධිරාජ්‍යවාදයට දක්වන නීච ගැති බව යන්න වසන් කිරීමට මේ උපාමාරුව අසමත් ය. ITAK ආස්ථානය ඉරානයේ ප්‍රචන්ඩත්වය විවේචනය කරන මුත්, ආක්‍රමනිකයන් වන එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විවේචනය නොකරන ශ්‍රී ලංකා ආන්ඩුවේ ගැති කමින් වෙනස් නොවේ.

අනෙකුත් දෙමල ධනේශ්වර පක්ෂ ද ඒ හා සමාන අධිරාජ්‍ය ගැති ස්ථාවරයක් අනුගමනය කර ඇත. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමල ජාතික ජනතා පෙරමුන (ටීඑන්පීඑෆ්), එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට ආයාචනා කරමින් සහ අධිරාජ්‍යවාදී අවශ්‍යතා සමඟ පෙලගැසී ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලට සහාය දක්වමින් ඊනියා ජාතික ස්වයං-නිර්නය සඳහා උද්ඝෝෂනය කරයි.

TNPF ට සම්බන්ධ, වවුනියාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන්ගේ සංගමය (VARED) ද ඒ හා සමාන ව, මිලිටරිය සමඟ පෙලගැසුනු ඝාතක කන්ඩායම් විසින් සිවිල් යුද්ධය අතරතුර “අතුරුදහන් කරන ලද” සිය ගනනක් දෙමල ජනතාව සඳහා “වගවීම” සහතික කරන ලෙස “ජාත්‍යන්තර ප්‍රජා” ගෙන් ඉල්ලා සිටී. ශෝකයට පත් ඥාතීහු, දින 3,000 ක විරෝධතාවල දරුනු සන්ධිස්ථානය සනිටුහන් කිරීම සඳහා පෙබරවාරි 25 වන දින, ඇමරිකානු සහ යුරෝපා සංගමයේ ධජ ප්‍රදර්ශනය කරමින් පැවති රැලියකට සහභාගී වූහ.

මාර්තු 4 වන දින වවුනියාවේ පැවති එවැනි ම විරෝධතාවක දී, VARED ලේකම් එස්. රාජ් කුමාර් ඉරාන යුද්ධයට TNPF හි සහයෝගය ප්‍රකාශ කලේ ය. “ඉරානයට එරෙහිව ගනු ලැබූ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප්ට අපි සුබ පතමු,” යැයි ඔහු ප්‍රකාශ කලේ ය. “දශක ගනනාවක් පුරා පැවති දෙමල ජනතාවගේ දේශපාලන අරගලයට ජාත්‍යන්තර ප්‍රජාව සම්බන්ධ කර ගන්නා ලෙස ද අපි ඉල්ලා සිටිමු.”

දෙමල ඊලාම් මහජන විමුක්ති සංවිධානය (PLOTE), ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුන (EPRLF) මෙන්ම දෙමල වතු කම්කරුවන් මත පදනම් වූ පක්ෂ ද ඇතුලු ව අනෙකුත් දෙමල පක්ෂ, ඉරාන යුද්ධය සම්බන්ධයෙන් සම්පූර්න නිහඬතාවයක් පවත්වා ගෙන යයි. මෙම නිහඬතාවයෙන් පෙනී යන්නේ, එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ අපරාධවලට ඔවුන් දක්වන සහයෝගයයි.

සමස්ත දේශපාලන සංස්ථාපිතය ම ප්‍රතිගාමී වාර්ගික දේශපාලනය තුල ගිලී ඇති අතර, සියල්ලට ම වඩා එහි අරමුන වන්නේ කම්කරු පන්තිය බෙදීමයි. අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු සිංහල ස්වෝත්තමවාදය අවුලුවාලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙමල විරෝධී ප්‍රචන්ඩත්වය, සංහාර සහ අවසානයේ සිවිල් යුද්ධය නිර්මානය විය. දෙමල ධනේශ්වර පක්ෂ තමන්ගේ ම දූෂිත අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමේ උත්සාහයක් ලෙස, දෙමල ජාතිකවාදය සහ බෙදුම්වාදය ප්‍රවර්ධනය කරයි. එසේ කිරීමේ දී, ඔවුන් සියල්ලෝ ම, අධිරාජ්‍යවාදය සහ එහි අපරාධ සමග පෙල ගැසෙති.

සමාජවාදී සමානතා පක්ෂය සියලු ආකාරයේ ජාතිකවාදයන්ට සහ ස්වෝත්තමවාදයන්ට නිරන්තරයෙන් විරුද්ධ වන අතර, දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටී. උතුරු හා නැගෙනහිර බහුතරය දෙමල වැසියන් වන ප්‍රදේශවලින් හමුදා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා ඇත. ශ්‍රී ලංකා සහ ඊලම් සමාජවාදී ජනරජයක් සඳහා පොදු සටනක සහ කම්කරු පන්තිය එක්සත් කිරීමේ පදනම මත අපි එසේ කරමු.

දෙමල, එ මෙන් ම සිංහල සහ මුස්ලිම්, සියලු ම කම්කරුවන්ට අප කියා සිටින්නේ ඉරානයට එරෙහි ඇමරිකන් ඊශ්‍රායල යුද්ධයටත් සියලු ම ධනේශ්වර පක්ෂවල අධිරාජ්‍යගැති ප්‍රතිපත්තීන්ටත් එරෙහි වන ලෙසයි. ඉරානයට එරෙහි යුද්ධය යනු “ලෝක සාමය සඳහා ආරම්භකත්වයක් නොවේ”; එය මානව වර්ගයා ව්‍යසනයේ හෙලීමට තර්ජනය කරන යුක්රේනයේ දැනටමත් සිදු වෙන චීනයට එරෙහි ව සූදානම් කෙරෙන ලෝක යුද්ධයක එක් පෙරමුනකි. 

සමාජවාදී සමානතා පක්ෂය සියලු ආකාරයේ ජාතිකවාදයන්ට සහ ස්වෝත්තමවාදයන්ට නිරන්තරයෙන් විරුද්ධ වී ඇති අතර, දෙමල ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ඇත; උතුරු හා නැගෙනහිර ප්‍රධාන වශයෙන් දෙමල ප්‍රදේශවලින් හමුදා ඉවත් කර ගන්නා ලෙස කැඳවුම් කර ඇත. ශ්‍රී ලංකා සහ ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා පොදු සටනක පදනම මත කම්කරු පන්තිය එක්සත් කිරීමේ පදනම මත අපි එසේ කරමු.

එම ව්‍යසනය වලක්වා ගත හැක්කේ ධනවාදය අහෝසි කිරීම සහ මානව වර්ගයා සඳහා සමාජවාදී අනාගතයක් සඳහා සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයකට පමනි.

Loading